සිරියාවේ පැවැති බෂාර් අල්-අසාද් පාලනය බිඳවැටීමෙන් පසු, එරට නව පාර්ලිමේන්තුව ඊයේ (12) ප්‍රථම වරට දමස්කස් නුවරදී රැස්විය. මෙය දශක ගණනාවක ආඥාදායක පාලනයකින් පසු ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
පැවැති සිවිල් යුද්ධය සහ අවතැන්වීම් හේතුවෙන් නිවැරදි ජනගහන දත්ත හෝ ඡන්ද හිමි නාමලේඛන නොමැති වීම නිසා, මෙම 210 දාසනයකින් සමන්විත පාර්ලිමේන්තුවේ සාමාජිකයින් තෝරාගෙන ඇත්තේ විශේෂ ක්‍රමවේදයකට අනුවය. ඒ අනුව සාමාජිකයින්ගෙන් තුනෙන් දෙකක් පසුගිය වසරේදී ප්‍රාදේශීය මැතිවරණ කොලීජියම් හරහා තෝරා ගත් අතර, ඉතිරි තුනෙන් එක ජනාධිපති අහ්මඩ් අල්-ෂරා විසින් පසුගිය ජූලි 1 වැනිදා නම් කරන ලදී.
නව පාර්ලිමේන්තුවේ සභාපතිවරයා ලෙස අබ්දෙල් හලිම් අල්-අවක් තේරී පත් විය. මෙම පාර්ලිමේන්තුවට පැවරී ඇති ප්‍රධාන වගකීම වන්නේ සිරියාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමයි.
සිරියාවේ වත්මන් ජනාධිපති අහ්මඩ් අල්-ෂරා, පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ මෙම සභාව වගකීමෙන් සහ නිපුණතාවයෙන් යුත් ආදර්ශවත් එකක් විය යුතු බවත්, එය සත්‍යය සහ යුක්තිය සඳහා වූ වේදිකාවක් බවත්ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යටිතල පහසුකම් සහ ලියකියවිලි සකස් වූ පසු රටේ මහා මැතිවරණයක් පැවැත්වීමට තමන් සහාය ලබා දෙන බවයි.
කෙසේ වෙතත්, සිරියාවේ දකුණු දිග ස්වීඩා (Sweida) පළාතේ පසුගිය වසරේ සිදුවූ ගැටුම් හේතුවෙන් එම ප්‍රදේශයට වෙන් කර ඇති ආසන තුන තවමත් පුරප්පාඩු වී පවතී. එම ප්‍රදේශයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක් නියෝජිතයින් පත් කිරීම කල් දමා ඇති බව බලධාරීන් පවසයි.
















