මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම හුදෙක් අහඹු සිදුවීමක් නොව, වත්මන් ආණ්ඩුව අස්ථාවර කිරීම සඳහා ක්‍රියාත්මක වූ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් විය හැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.
ආණ්ඩුවට තම භාරයේ සිටින රැඳවියන් පවා ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයිද යන්න පිළිබඳව කොළඹදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ගැටුමක් සමථයකට පත් වී තිබියදී එය නැවත ඇවිළී යාම සහ එමඟින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීම පිටුපස සැඟවුණු අභිප්රායන් පවතින බව ඔහු අවධාරණය කළේය.
“ආරක්ෂාව ලබා දීමට නොහැකි වීමක් වත්මන් ආණ්ඩුවට නැහැ. නමුත් සමථයකට පත් වුණු ගැටුමක් නැවත ඇවිළිලා රාජ්‍ය සේවකයින් ගණනාවක් ජීවිතක්ෂයට පත්වීම පිටුපස තියෙන කුමන්ත්‍රණය කුමක්දැයි අප සොයා බැලිය යුතුයි. ඕනෑම ක්රියාමාර්ගයකින් මෙම ආණ්ඩුව වෙනස් කර බලය ලබාගැනීමට සැදී පැහැදී සිටින පිරිසක් සිටිනවා. එවැනි සංවිධානාත්මක පිරිස් ක්‍රියාත්මක වන විට මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීම අසීරුයි,” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මගින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධිය හේතුවෙන් මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීමට නුසුදුසු ස්ථානයක් ලෙස බන්ධනාගාර පරිපාලනය විසින් නම් කර තිබේ.
















