බන්ධනාගාරගත රැඳවියන් සඳහා ජනාධිපති පොදු සමාව ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් ක්රමානුකූල, සාධාරණ සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා සකස් කරන ලද වාර්තාව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය වෙත භාර දෙන ලදී.
2025 ජුනි 25 වැනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විශ්‍රාමික විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ කමිටුවක් මගින් මෙම වාර්තාව සකස් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව, අදාළ නීති රීති සහ නඩු තීන්දු මෙන්ම බන්ධනාගාර පරිපාලන ක්‍රියාපටිපාටි අධ්‍යයනය කරමින් මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
මෙම නව ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණු වන්නේ බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කිරීම, රැඳවියන් පුනරුත්ථාපන ක්‍රියාවලියේ පවතින අඩුපාඩු මඟහරවා ගැනීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත විය හැකි නව බන්ධනාගාර පද්ධතියක් ස්ථාපිත කිරීමයි.
මෙම නිර්දේශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් සලකා බලා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම කමිටුව සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය ඇතුළු නීති, පොලිස්, පුනරුත්ථාපන සහ බන්ධනාගාර ක්ෂේත්රවල ප්‍රවීණයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් දායක වී ඇත.
















