වසර ගණනාවක් තිස්සේ අවිධිමත් නාගරීකරණය සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව ඇති කොළඹ බේරේ වැව ප්‍රතිසංස්කරණය කර, එහි ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් දැවැන්ත පවිත්‍රකරණ මෙහෙයුමක් රජය විසින් ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක සහයෝගයෙන් ක්‍රියාත්මක වේ. බේරේ වැවේ ජලය නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීමේ සෘජු වගකීම මේ වන විට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත පවරා ඇත.
වැව වටා ජලය දූෂණය වන ස්ථාන 35ක් හඳුනා ගැනීමට පියවර ගෙන ඇත. මෑතකදී සිදුකළ ජල සාම්පල පරීක්ෂණවලදී නයිට්රජන්, පොස්පරස් සහ ඇමෝනියා වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ.
මේ වන විට පාවෙන කුණු සහ සුන්බුන් ඉවත් කිරීම, ආක්‍රමණශීලී ජලජ වල්පැලෑටි ඉවත් කිරීම සහ වැව් ඉවුරු පිරිසුදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. මීට අමතරව, ගංගාරාම විහාරස්ථානය ආසන්න නිරිතදිග බේරේ වැව් කලාපයේ වසර ගණනාවක් තිස්සේ එකතු වී ඇති රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු ද කඩිනම් කර තිබේ. කාලයක් තිස්සේ පැතිර ගිය ඇල්ගී සහ සයනොබැක්ටීරියා හේතුවෙන් විනාශයට පත්ව තිබූ වැවේ ස්වාභාවික සෞන්දර්යය සහ පාරිසරික තත්ත්වය යළි ගොඩනැඟීම මෙම මෙහෙයුමේ මූලික අරමුණයි.
















