ශ්‍රී ලංකාව ස්වභාවික සෞන්දර්යයෙන් සහ ඓතිහාසික උරුමයන්ගෙන් අනූන දේශයක් වුවද, ගෝලීය සංචාරක වෙළඳපොළ තුළ අපට හිමි නියම ස්ථානය දිනා ගැනීමට නම් සාම්ප්‍රදායික සංචාරක රාමුවෙන් ඔබ්බට යා යුතු කාලය එළඹ ඇත. ඒ වෙනුවෙන් ඉදිරිපත් වන නවතම යෝජනාව වන්නේ “ලෝකයක ආශ්වාදය ලංකාවෙන් විඳගන්න – ලෝකයම එක් මාවතකට” යන සංකල්පයයි.
මෙම සංකල්පයේ හරය වන්නේ ශ්‍රී ලංකාව හුදෙක් එක් රටක් පමණක් නොව, මුළු ලෝකයේම කුඩා ආකෘතියක් බවට පත් කිරීමයි. සංචාරකයෙකුට ගුවන් තොටුපළ, දුම්රිය ස්ථාන සහ බස් නැවතුම්පොළවල සිටම ලෝකයේ විවිධ රටවලට ආවේණික වූ ආහාරපාන සහ සංස්කෘතික අංග අත්විඳිය හැකි විශේෂිත කලාප නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම යෝජනාවේ සැබෑ සුන්දරත්වය ගැබ්ව ඇත්තේ එම විදේශීය අත්දැකීම් අපගේම දේශීය අනන්‍යතාවය සමඟ බද්ධ කිරීම තුළයි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම ආවේණික වූ සංස්කෘතික සහ සූපශාස්ත්‍ර ලක්ෂණ ඉස්මතු කෙරෙන අයුරින් මෙය ක්‍රියාත්මක කෙරේ. උතුරේ යාපනයේ තල් ආශ්රිත නිෂ්පාදන සහ සාම්ප්‍රදායික හින්දු සංස්කෘතික අංග, දකුණේ මාළු ඇඹුල් තියල්, කුරක්කන් තලප සහ රුහුණේ වෙස් මුහුණු කලාව හා යක් බෙර නාදය, උඩරට කැවුම්, කොකිස් ඇතුළු රසකැවිලි සහ ප්‍රෞඪ උඩරට නර්තන සම්ප්‍රදායන් මෙන්ම නැගෙනහිර මුහුදු ආහාර සංස්කෘතිය සහ ද්‍රවිඩ හා ඉස්ලාමීය සංස්කෘතික මුසුව ද මීට අයත් වේ.
සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි සූපශාස්ත්‍ර හා සංස්කෘතික ගම්මාන නිර්මාණය කිරීම හරහා සංචාරකයින් දිවයින පුරා දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමේ කාලය වැඩි කර ගැනීමටත්, ප්‍රාදේශීය කර්මාන්ත සහ ශිල්පීන්ට සෘජු ආර්ථික ප්රතිලාභ ලබා දීමටත් හැකි වේ. තනි ගමනාන්තයකින් මුළු ලෝකයම අත්විඳිය හැකි ස්ථානයක් ලෙස ලංකාව ලෝක සිතියමේ අනිවාර්යයෙන් යා යුතුම ස්ථානයක් බවට පත් කිරීම මෙම නව්‍ය සංචාරක ආකෘතියේ අපේක්ෂාවයි.
















