ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සහ වෙරළබඩ කලාපය අපද්‍රව්‍යවලින් තොර සෞඛ්‍ය සම්පන්න කලාපයක් බවට පත් කිරීමේ අරමුණින්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් “Ocean Watch” නමින් නව වෙබ් පාදක ජංගම යෙදවුමක් නිල වශයෙන් හඳුන්වා දී තිබේ.
මෙම යෙදවුම නිර්මාණය කර ඇත්තේ රාජ්‍ය ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින්, වෙරළ හා වරාය ආශ්‍රිත අපද්‍රව්‍ය කළමනාකරණය වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ අරමුණෙනි. ශ්‍රී ලංකාව කිලෝමීටර් 1700කට ආසන්න වෙරළ තීරයකට හිමිකම් කියන නමුත්, ගොඩබිමෙන් ගංගා සහ ඇළ මාර්ග ඔස්සේ මුහුදට එකතු වන අපද්‍රව්‍ය හේතුවෙන් පාරිසරික සහ ආර්ථික වශයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක මෙම තාක්ෂණික පියවර ඉතා වැදගත් වේ.
මෙම යෙදවුම මගින් වෙරළ පවිත්‍රතා වැඩසටහන් සංවිධානය කරන කණ්ඩායම් සහ අදාළ රාජ්‍ය ආයතන අතර සෘජු සම්බන්ධීකරණයක් ඇති කරයි. ගොඩබිමෙන් අපද්‍රව්‍ය ගලා ඒම පාලනය කිරීමට අවශ්‍ය බාධක යෙදිය යුතු ස්ථාන පිළිබඳ තොරතුරු ද මීට ඇතුළත් වේ. එමෙන්ම පෞද්ගලික අංශයට සහ රාජ්‍ය නොවන සංවිධානවලට ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති හරහා වෙරළ පවිත්‍රතා වැඩසටහන් සමඟ දායක වීමට අවකාශය හිමිවන අතර, ඕනෑම පුරවැසියෙකුට සමුද්‍ර පරිසරය ආශ්‍රිත පැමිණිලි ක්ෂණිකව බලධාරීන් වෙත යොමු කිරීමට ද හැකියාව පවතී.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් දැනටමත් වෙරළ කළමනාකරණ කමිටු ස්ථාපිත කර වෙරළ හා වරාය අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා වන යෝජනාවලිය සකස් කර ඇති අතර, මෙම නවීන ඩිජිටල් තාක්ෂණය ඒ සඳහා විශාල දායකත්වයක් ලබා දෙනු ඇත. මතු පරපුර උදෙසා පිරිසිදු නිල් සාගරයක් සහ වෙරළ තීරයක් උරුම කරදීමේ මෙම ජාතික මෙහෙයුම සඳහා මහජන සහයෝගය අධිකාරිය විසින් අපේක්ෂා කරයි.
















