ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති “WSIS Forum 2026” (තොරතුරු සමාජය පිළිබඳ ලෝක සමුළුව) හි නියාමකයින්ගේ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් මහතා සහභාගී විය.
“ඩිජිටල් වෙළෙඳපොළ සඳහා වූ පාලන අත්‍යවශ්‍යතා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම” තේමාව යටතේ පැවැති මෙම සැසියේදී, ශ්‍රී ලංකාවේ “ජාතික ඩිජිටල් ආර්ථික උපායමාර්ගය 2030” සාක්ෂාත් කරගැනීම සඳහා TRCSL විසින් ක්‍රියාවට නංවා ඇති නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු පැහැදිලි කළේය.
ඔහු පෙන්වා දුන් පරිදි, නවීන ඩිජිටල් වෙළෙඳපොළ තුළ ආයෝජන දිරිගැන්වීම සහ පාරිභෝගික සුරක්ෂිතතාව සමබරව පවත්වා ගැනීමට TRCSL ගෙන ඇති ක්‍රියාමාර්ග කැපී පෙනේ. විශේෂයෙන්ම, රේඩියෝ සංඛ්‍යාත වෙන්දේසි රීති හරහා විනිවිදභාවය සහ ආයෝජක විශ්වාසය තහවුරු වී ඇති අතර, යටිතල පහසුකම් හවුලේ භාවිත කිරීමේ නීති මඟින් පිරිවැය අවම කරමින් ග්‍රාමීය ප්‍රදේශ වෙත සන්නිවේදන සබඳතා වේගයෙන් ව්‍යාප්ත කිරීමට හැකි වී තිබේ.
එමෙන්ම, සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශක්තිමත් සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රාමුවක් ක්‍රියාත්මක කිරීම සහ බලපත්‍ර ක්‍රමවේදය නවීකරණය කිරීම හරහා නව ආයෝජන ආකෘති සඳහා පුළුල් අවකාශයක් විවෘත වී ඇති බවද හේරත් මහතා පෙන්වා දුන්නේය. ඩිජිටල් පරිවර්තනය යනු ශක්තිමත් ආයතනික පදනමක් සහ තිරසාර ක්‍රමවේදයක් මත ගොඩනැඟිය යුත්තක් බව අවධාරණය කළ ඒ මහතා, ශ්‍රී ලංකාව GSR-26 ජාත්‍යන්තර පාලන මූලධර්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට සාර්ථකව පරිවර්තනය කර ඇති බව ප්‍රකාශ කරමින් සිය දේශනය අවසන් කළේය.
මෙම ගෝලීය සාකච්ඡාව සඳහා විවිධ රටවල් නියෝජනය කරන අමාත්‍යවරුන්, විදුලි සංදේශ නියාමන ප්‍රධානීන් සහ ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු විශේෂඥයින් රැසක් සහභාගී වූහ.
















