බදුරලිය, මිණිකන්දල ප්‍රදේශයේ නිවසක නතර කර තිබූ යතුරුපැදියක් සොරාගෙන එය කොටස් කර විකිණීමට සූදානම් කර තිබූ විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිනිකන්දල ප්‍රදේශයේ පදිංචිව සිට දැනට මොරටුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. නාවික හමුදාවේ වසර 12ක් සේවය කර විශ්‍රාම ලබා ඇති මෙම සැකකරු මේ වන විට මොරටුව ප්‍රදේශයේ කුලී රථ රියදුරෙකු ලෙස සේවය කරමින් සිටින අයෙකි.
ඉකුත් (10) දා බදුරලිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් විසින් එම ප්‍රදේශයේ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී, සැකකරු විසින් රාත්‍රී 12.30 පමණ එම යතුරුපැදිය රැගෙන යන අයුරු හඳුනා ගැනීමට හැකි විය.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් සොරාගත් යතුරුපැදිය මොරටුවේ පිහිටි සිය කුලී නිවසේ සඟවා තබා, එය කොටස්වලට ගලවා පංචිකාවත්ත ප්‍රදේශයේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි. මීට පෙර මතුගම ප්‍රදේශයේ සිදු කළ සොරකමක් සම්බන්ධයෙන් ද මොහු අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය පවසයි.
බදුරළිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. පී. වැදිසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.















