ජාතික යොවුන් සේනාංකය (NYC) සහ ජාතික තරුණ සේවා සභාව (NYSC) එක්ව සංවිධානය කරන “Leadership Training Camp & Workshop 2026” ජාතික නායකත්ව පුහුණු සහ වැඩමුළු මාලාවේ ප්‍රථම අදියර, නාඋල බැහැරගත පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමාවට පත් විය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ, වර්තමාන සමාජයීය හා ආර්ථික අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි, විචාරශීලි චින්තනයෙන් හා නායකත්ව කුසලතාවයෙන් හෙබි තරුණ පරපුරක් නිර්මාණය කිරීමයි. ජූලි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, තෙදින නේවාසික කඳවුරු ලෙස පැවැත්වේ.
මෙම සමාරම්භක කඳවුර සඳහා තරුණ තරුණියන් 125 දෙනෙකු සහභාගී වූහ. ඔවුන් අතර ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින් 75 දෙනෙකු සහ ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරමින් 2026 දෙවන කණ්ඩායමේ ඉහළම කුසලතා දැක්වූ යොවුන් ශිෂ්‍යභටයින් 50 දෙනෙකු ඇතුළත් වීම විශේෂත්වයකි.
පසුගිය 10 වැනිදා ආරම්භ වූ මෙම තෙදින පුහුණු වැඩසටහන තුළ නායකත්ව කුසලතා සංවර්ධනය, කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම, ත්‍රාසජනක ක්‍රියාකාරකම් මත පදනම් වූ අභියෝගාත්මක පුහුණුවීම් (ABT), යෝගා වැඩසටහන් මෙන්ම පෞරුෂ වර්ධනය අරමුණු කරගත් දේශන රැසක් පැවැත්විණි.
සමාරම්භක පුහුණු වැඩසටහනේ සහතික පත්‍ර ප්රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා සහභාගී විය. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රටේ අනාගත නායකත්වය භාරගැනීම සඳහා තරුණ තරුණියන් සූදානම් කිරීම රජයේ වගකීමක් බවයි. දේශපාලන සංස්කෘතිය වෙනස් වී ඇති පසුබිමක, අනාගතයේදී තරුණ නායක නායිකාවන්ට වැඩි අවස්ථාවන් හිමි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ සහ ජාතික තරුණ සේවා සභාවේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙම වැඩසටහන් මාලාවේ මීළඟ අදියර බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින්, ජූලි 24, 25 සහ 26 යන දිනවලදී හෙයියන්තුඩුව තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.














