සියලුම රාජ්‍ය සේවකයන් සඳහා අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට ලබා දී ඇති කාලය ලබන ජූලි මස 31 වැනිදායින් අවසන් වන බව ජාතික රක්ෂණ භාර අරමුදල පවසයි. එහි සභාපති ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය සියලුම ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටින්නේ එම දිනට පෙර කඩිනමින් තම තොරතුරු යාවත්කාලීන කිරීම් සම්පූර්ණ කරන ලෙසයි. ඉදිරියේදී අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තු වන්නේ මෙම නව දත්ත පද්ධතිය හරහා පමණක් බැවින් මේ සඳහා යොමුවීම අනිවාර්ය වෙයි.
විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ ලක්ෂ 9කට අධික පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද ඇතුළුව ලක්ෂ 30ක පමණ ජනතාවක් මෙම රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබති. පසුගිය අප්‍රේල් මාසයේ ආරම්භ කළ මෙම දත්ත යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට රාජ්‍ය සේවකයන් ලක්ෂ 6ක් පමණ සිය තොරතුරු ඇතුළත් කර ඇත. රාජ්‍ය ආයතන 1,900ක පමණ සේවකයන් මේ යටතේ ලියාපදිංචි විය යුතු අතර, මෙතෙක් සම්බන්ධීකරණ නිලධාරීන් නම් කර නොමැති ආයතනවලින් ද වහාම ඊට සහය දෙන ලෙස සභාපතිනිය වැඩිදුරටත් ඉල්ලා සිටී.
















