‘දිට්වා’ (Ditwa) සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර නිසා නිවාස අහිමි වූ පවුල් සඳහා ලබාදෙන මාසික තාවකාලික නිවාස කුලී දීමනාව තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. මහාභාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති 08/2025 (iv) දරන අයවැය චක්‍රලේඛය මඟින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මේ බව දැනුම් දී ඇත.
ඒ අනුව සංශෝධිත “ආපදාවට ලක්වූවන් සබල ගැන්වීමේ වැඩසටහන” යටතේ, තම නිවෙස් අහිමි වී විකල්ප නවාතැන් පහසුකම් නොමැති සහ නව නිවසක් ඉදිකරමින් පවතින සුදුසුකම් ලත් හිමිකරුවන් සඳහා මසකට රුපියල් 25,000ක කුලී දීමනාවක් අඛණ්ඩව හිමිවෙයි. මීට පෙර මාස 6ක් ලෙස පැවති මෙම දීමනාව ලබාදීමේ උපරිම කාල සීමාව මේ වන විට මාස 9ක් දක්වා ඉහළ නංවා තිබේ. 2025 දෙසැම්බර් 5 වැනිදා නිකුත් කරන ලද මුල් අයවැය චක්‍රලේඛයේ සඳහන් අනෙකුත් සියලුම කොන්දේසි වෙනසක් නොමැතිව එලෙසම පවතින බව භාණ්ඩාගාරය වැඩිදුරටත් සඳහන් කරයි.
















