2015 වසරේ සිට 2025 වසර දක්වා වූ පසුගිය දශකය තුළ මෙරට සජීවී දරු උපත් ප්‍රමාණය 120,000කින් පමණ කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ නව දරු උපත් දිරිගැන්වීම සඳහා රජය ඉදිරියේදී සියලු සහන ලබාදීමට පියවර ගන්නා බවයි. දත්තවලට අනුව මෙම පහත වැටීම 2019 වසරෙන් පසු වඩාත් දැඩි වී ඇති අතර, 2019 – 2025 කාලය තුළ පමණක් සජීවී දරු උපත් සංඛ්‍යාව සියයට 33කින් අඩුවී ඇත. 2019 වසරේදී 319,010ක් ලෙස සටහන් වූ දරු උපත් සංඛ්‍යාව, 2020දී 301,706ක්, 2021දී 284,848ක්, 2022දී 275,321ක්, 2023දී 247,900ක්, 2024දී 220,761ක් සහ ගතවූ 2025 වසර වන විට 214,570ක් දක්වා ක්‍රමිකව පහත වැටී තිබේ.
මෙම තත්ත්වයට හේතු වශයෙන් විවාහ වන වයස ඉහළ යාම, විවාහ අනුපාතය පහළ යාම, අධික ජීවන වියදම සහ කුඩා පවුල් සඳහා ඇති කැමැත්ත ප්‍රධාන වශයෙන් බලපා ඇත. එමෙන්ම ප්‍රජනන වයසේ පසුවන තරුණ තරුණියන් විශාල වශයෙන් රට අත්හැර යාම, විදේශ රැකියා නිසා අඹුසැමියන් වෙන්ව සිටීම මෙන්ම උසස් අධ්‍යාපනය සහ රැකියා සඳහා කාන්තා සහභාගීත්වය වැඩිවීම ද මීට හේතු වී තිබේ. මීට අමතරව පවුල් සැලසුම් ක්‍රම භාවිතය ඉහළ යාම, මඳ සරුභාවය සහ වඳභාවය වැනි සෞඛ්‍ය ගැටලු ද මේ සඳහා බලපා ඇති බව අනාවරණය වී ඇත. ලංකාවේ දිගුකාලීන ජනගහන ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා වසරකට ප්‍රශස්ත මට්ටමින් දරු උපත් 330,000ත් 360,000ත් අතර ප්‍රමාණයක් සිදු විය යුතු වුවද, දැනට පවතින අගය එම සීමාවට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බව අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
















