රාජකාරි සීමාව ඉක්මවා කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය වෘත්තිකයින් ඇගයීම සඳහා කාර්ය සාධනය පදනම් කරගත් (Performance-based) ස්ථිර ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ මෙතෙක් එවැනි පිළිගත් නිශ්චිත ක්‍රමවේදයක් නොතිබූ අතර, වැටුප් වර්ධක සහ උසස්වීම් ලබාදීමේදී මෙම නව ක්‍රමවේදය හරහා වෘත්තිකයන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කිරීමට මේ වන විට සාකච්ඡා පවත්වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ එකිනෙකට වෙනස් වෘත්තීන් 280ක් පමණ ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.
ලොව ප්‍රථම වතාවට වකුගඩු බද්ධ කිරීමක්ද සමඟ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී බද්ධ නිවුන් දරුවන් වෙන් කිරීමේ ඓතිහාසික සැත්කම සාර්ථකව නිම කළ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අගය කරන්නේද යන්න පිළිබඳව මාධ්‍ය විමසූ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ සේවකයින් තම රාජකාරි සීමාව ද ඉක්මවා යමින් සිදු කළ මෙම සුවිශේෂී කැපවීම අගය කළ යුතු බවත්, මෙවැනි ක්‍රමවේදයක් මඟින් සෙසු සේවකයින්ද වඩාත් උනන්දුවෙන් සේවය කිරීමට පෙළඹෙනු ඇති බවත් වෛද්‍ය හංසක විජේමුණි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















