ඉරාන වරායන් වෙත පනවා තිබූ නාවික අවහිරතා නැවතත් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. තම නිල ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව තහවුරු කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය තිබුණත් නැතත් දිගටම විවෘතව පවතින බවත්, “ඉරාන නාවික අවහිරතාව” මඟින් ඉරාන නැව් හෝ ඔවුන්ගේ පාරිභෝගිකයන්ට පමණක් ඇතුළු වීම සහ පිටවීම වළක්වන අතර අනෙකුත් රටවලට එය සාධාරණ ලෙස භාවිත කළ හැකි බවත් ඔහු සඳහන් කර ඇත.
මින් ඉදිරියට අමෙරිකා එක්සත් ජනපදය “හෝමුස් සමුද්‍ර සන්ධියේ භාරකරු” ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කළ ට්‍රම්ප්, මෙම නොසන්සුන් කලාපයට ආරක්ෂාව සැපයීම සඳහා වැය වන පිරිවැය වෙනුවෙන් එම මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන සියලුම භාණ්ඩ සඳහා 20%ක ආරක්ෂක බද්දක් (මුදල් ප්‍රතිපූරණයක්) අය කරන බව දන්වා සිටියේය. මේ සඳහා වන ක්‍රියාවලිය වහාම ආරම්භ කරන බව ද ඔහු කියා සිටියේය. ලෝකයේ ප්‍රධානතම වෙළෙඳ සහ ඛනිජ තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නැව් සඳහා අමෙරිකාව පැනවීමට යන මෙම 20%ක බද්ද ගෝලීය වෙළෙඳපොළට සහ තෙල් මිලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පවසති.
















