දිස්ත්‍රික්ක හතක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 175ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක මීට ඇතුළත් වන අතර, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 68,672ක් සහ මරණ 47ක් වාර්තා වී තිබේ. ඉන් රෝගීන් 13,293ක්ම වාර්තා වී ඇත්තේ ජූලි මාසයේ ගතවූ දින 12 ඇතුළතදීය.
ඩෙංගු ව්‍යාප්තිය හමුවේ පාසල් ළමයින්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන ඇඳුමකින් සැරසී පැමිණීමට අවසර දීමත් සමඟ අද (13) දින දරුවන් රැසක් එලෙස පාසල් වෙත පැමිණ සිටියහ. මේ අතර, කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය දන්වා සිටියේ පෙර පාසල් දරුවන්ද මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අත් සහ කකුල් ආවරණය වන සුදුසු ඇඳුම් ඇන්දවීමට දෙමාපියන් පියවර ගත යුතු බවයි.














