කොළඹ සහ කන්කසන්තුරය (KKS) අතර ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සතියකට දින හතරකට පමණක් සීමා කිරීමට දුම්රිය පාලනාධිකාරිය මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කරමින්, හෙට (14) සිට එය සාමාන්‍ය පරිදි සතියේ සෑම දිනකම ධාවනය කිරීමට පියවර ගෙන තිබේ.
බලවේග කට්ටල (Power Sets) හිඟකම හේතුවෙන් මීට පෙර අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල මෙම දුම්රිය ධාවනය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණි. කෙසේ වෙතත්, එමඟින් උතුරු දුම්රිය මාර්ගය භාවිත කරන මගීන් දැඩි අපහසුතාවකට පත්වන බව වෘත්තීය සංගම් පෙන්වා දීමෙන් පසු, අවලංගු කළ දින ද ඇතුළුව හෙට සිට බාධාවකින් තොරව පෙර පරිදිම දුම්රිය ධාවනය කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.














