‘ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා’ (Towards a Dengue-Free Colombo) යන තේමාව පෙරදැරි කරගනිමින්, ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය පූර්ණ සහ සක්‍රිය දායකත්වය ලබා දෙයි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්ෂණ අංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි. මාරාන්තික ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කරමින් මහජනතාව සඳහා වඩාත් සෞඛ්යාරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
පසුගියදා (11) අට වන දිනටත් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා භට පිරිස් 62ක් දායක විය. මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නියෝජිතයන් සමඟ එක්ව නාවික හමුදාව සිය මෙහෙවර ඉටු කරනු ලබයි.
















