සෑම පුද්ගලයෙකුටම ප්‍රතිලාභ සැලසෙන පරිදි, ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම තුළින් ජනතාවට පෞද්ගලික ප්‍රවාහන සඳහා දැරීමට සිදුවන අධික වැය බර අවම කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අය-වැය පූර්ව සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. නිදහස් සෞඛ්‍ය සේවයේ දියුණුවට ලබාදෙන අවධානය මෙන්ම, පොදු ප්‍රවාහන සේවයේ උන්නතිය වෙනුවෙන්ද විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ තවත් තීරණ සහ සාකච්ඡා වූ කරුණු:
පැරණි බස් රථ ක්‍රමයෙන් ධාවනයෙන් ඉවත් කර නව බස් රථ ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
නගරාශ්‍රිත කෙටි දුර ධාවනය සඳහා ‘මෙට්‍රෝ බස් රථ’ (Metro Buses) වැනි පහසුකම් සහිත බස් රථ හඳුන්වා දීමෙන් ජනතාවට සුවපහසු ගමනාගමනයක් සහතික කිරීම.
නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මහල් නිවාස ව්‍යාපෘති, කසළ කළමනාකරණය සහ CITY BRANDING ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම.
ලබන වසරේ නිම කළ හැකි ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව ලබා දෙමින් අය-වැය ප්‍රතිපාදන වෙන් කිරීම.
විදේශ ණය ආධාර යටතේ සිදු කෙරෙන ව්‍යාපෘතිවලදී, එහි අවසාන ප්‍රතිඵලය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ව්‍යාපෘති අනුමත නොකිරීම.
මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ අදාළ ආයතන ප්‍රධානීන් පිරිසක් සහභාගි වූහ.
















