ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී පුහුණුව සාර්ථකව නිම කළ මධ්‍ය නිලධාරීන් 34 දෙනෙකු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස අධිකාරියට පත් කෙරිණි. මෙම නිලධාරීන් අතර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 39 වැනි බඳවා ගැනීමට අයත් තාක්ෂණික අංශයේ මධ්‍ය නිලධාරීන් 9 දෙනෙකු සහ නාවික හා සාගරික විද්‍යා පීඨයේ 66 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 25 දෙනෙකු වේ.
අධිකාරියට පත් කිරීමේ උත්සවයේදී පුහුණු කාලසීමාව තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ නිලධාරීන් වෙත සම්මාන සහ අසිපත් ප්‍රදානය කිරීම නාවික හමුදාපතිවරයා අතින් සිදු විය. එහිදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂතම තාක්ෂණික මධ්‍ය නිලධාරියා ලෙස ආර්.ඒ.ආර්.සී. රණසිංහ මහතාත්, නාවික හා සාගරික විද්‍යා පීඨයේ දක්ෂතම මධ්‍ය නිලධාරියා ලෙස එච්.එම්.කේ.එම්. බණ්ඩාර මහතාත් සම්මාන ලබා ගත්හ. මීට අමතරව වෘත්තීය විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් ඩී.එන්.ටී.ජී. නානායක්කාර මහතා, දක්ෂතම ඉලක්කකරු ලෙස ඩබ්.කේ.ඩී. විජේසිංහ මහතා සහ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඒ.වී.ඕ. අතුකෝරාල මහත්මිය සම්මාන දිනා ගත්හ.
උත්සව සභාව අමතමින් නාවික හමුදාපතිවරයා අවධාරණය කළේ, මෙය නාවික නිලධාරීන් ලෙස වගකීම් සහගත නව වෘත්තීය ගමනක ආරම්භය බවයි. නාවික හමුදාවේ උතුම් සම්ප්‍රදායන් හා මූලධර්ම ආරක්ෂා කරමින්, විනය සහ වෘත්තීයභාවය පෙරදැරිව තමන් යටතේ සේවය කරන නාවිකයන්ට ආදර්ශවත් නායකයන් ලෙස කටයුතු කිරීම ඔවුන්ගේ ප්‍රධාන වගකීම බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
















