ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති “එක්සත් ජාතීන්ගේ ගෝලීය කෘතිම බුද්ධි පාලන සංවාදය” සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉහළ පෙළේ දූත පිරිසක් සහභාගී විය. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම දූත පිරිස, ජාත්‍යන්තර කෘතිම බුද්ධි සහයෝගීතාවය වෙනුවෙන් ලොව ප්‍රථම වරට බිහි වූ මෙම ගෝලීය වේදිකාවේදී ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් දැක්ම ඉදිරිපත් කළහ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ සහ මහා මණ්ඩලයේ සභාපතිවරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සමුළුවේදී, වේගයෙන් කෘතිම බුද්ධිය (AI) මුල් කරගත් අනාගතයක් කරා පරිවර්තනය වන ලෝකයේ ඩිජිටල් සමානාත්මතාවය උදෙසා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම ශ්‍රී ලංකා නියෝජිතයන් විසින් අවධාරණය කරන ලදී. එසේම සාධාරණ, ඇතුළත් කරගත් සහ ආරක්ෂිත ගෝලීය ඩිජිටල් පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහ ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට සහ තාක්ෂණික දියුණුවක් ඇති කිරීමට ගන්නා පියවර පිළිබඳව ද ඔවුහු කරුණු පැහැදිලි කළහ.
මෙම දූත පිරිසට ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති සුමිත් දසනායක මහතා, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළත් වූහ. ජූලි 06 සිට 10 දක්වා පැවති මෙම සමුළු මාලාවේදී, ඔවුන් “AI for Good Global Summit 2026” සහ තොරතුරු සමාජය පිළිබඳ ලෝක සමුළුව වැනි වැදගත් ජාත්‍යන්තර සමුළුවලට ද සහභාගී වී තිබේ.














