“සිවිල් ලියාපදිංචිය යනු හුදු මහජන සේවාවක් පමණක් නොව, එය යහපත් පාලනයක පදනමයි.” – රාජ්‍ය පරිපාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න
දකුණු ආසියානු සිවිල් ලියාපදිංචි වෘත්තිකයන්ගේ (CR8) කලාපීය රැස්වීම කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී ආරම්භ විය. දකුණු ආසියානු සිවිල් ලියාපදිංචි කිරීමේ සහ සංඛ්‍යාලේඛන (CRVS) පද්ධති ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු මෙම සමුළුව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය ඇමැති වසන්ත සරත් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ඕනෑම රටක ප්‍රධානම මූලිකාංගයක් වන්නේ සිවිල් ලියාපදිංචිය බවයි. එමගින් සෑම පුද්ගලයකුටම රජය විසින් පිළිගන්නා නීත්‍යනුකූල අනන්‍යතාවක් හිමිවන අතර, අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්ෂණය සහ මූල්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය පොදු සේවාවන් ලබා ගැනීමට එය මහෝපකාරී වේ. මෙම දත්ත පද්ධතිය ශක්තිමත් කිරීම මගින් රජයට රටේ සංවර්ධනය, ආර්ථික සහ මහජන සෞඛ්‍ය පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබෙන බැවින්, සිවිල් ලියාපදිංචිය යනු හුදු මහජන සේවයක් පමණක් නොව, එය යහපත් පාලනයක පදනමක් බව ඇමැතිවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව තුළ UNDP සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ එක්ව ක්‍රියාත්මක “එක් ලේඛනාගාරයක්” (One Registry) වැඩසටහන හරහා සිවිල් ලියාපදිංචි කිරීමේ පද්ධතිය නවීකරණය කරමින්, එය ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමඟ ඒකාබද්ධ කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
2018 වසරේ පිහිටුවන ලද CR8 ජාලය, දකුණු ආසියානු රටවල් අතර හුවමාරු කර ගැනීමේ සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ප්‍රධාන දොරටුවකි. මෙම සමුළුව සඳහා ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් එක්ව සිටිති. ජූලි 13 සිට 15 දක්වා පැවැත්වෙන මෙම සමුළුව ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ, එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිසම (ESCAP) විසින් UNICEF සහ Vital Strategies සමඟ එක්ව සංවිධානය කර ඇත.
















