ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිතයන් වාර්තා වීමේ අනුපාතය වාර්ෂිකව ඉහළ යමින් පවතින බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පවසයි. විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් සැලකිය යුතු ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන බව ඇය සඳහන් කරයි.
2023 වසරේ සිට මේ දක්වා HIV රෝගීන් හඳුනා ගැනීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති අතර, පිරිමි පාර්ශවය අතර ආසාදන ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ මට්ටමක පවතියි. අනාරක්ෂිත ලිංගික සබඳතා රෝග ව්‍යාප්තියට ප්‍රධානතම හේතුව වන අතර, අධි අවදානම් ලිංගික හැසිරීම් සහ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම සඳහා හුවමාරු කර ගන්නා ඉඳිකටු සහ සිරින්ජ භාවිතය ද වෛරසය පැතිරීමට බලපාන ප්‍රධාන සාධක වේ.
HIV වෛරසය වැළඳුණු පසු එය සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි බවත්, ආසාදිතයන් ජීවිත කාලය පුරාම අඛණ්ඩ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගත යුතු බවත් වෛද්‍යවරිය අවධාරණය කරයි. විශේෂයෙන්ම තරුණ වියේදීම රෝගය වැළඳෙන පුද්ගලයන්ට ජීවිත කාලය පුරාම ඖෂධ ලබා ගැනීමට සිදු වේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ජංගම සායන වැඩසටහනක් මෙම වසරේ (2026) ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කර ඇත. ජනගහන ඝනත්වය සහ පවතින අවදානම් සාධක සැලකිල්ලට ගනිමින් මෙම දිස්ත්‍රික්ක දෙක ප්‍රමුඛතාව දී ඇත.
මෙම වැඩසටහන යටතේ කිසිදු මුදලක් අය නොකර පරීක්ෂණ සහ වෛද්‍ය සේවා සපයනු ලබන අතර, පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කෙරේ. ආසාදිතයෙකු හඳුනා ගතහොත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන හරහා නොමිලේ උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.














