රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක “පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන යටතේ, දිවයින පුරා පවතින ග්‍රාමීය පාලම් 881ක් සංවර්ධනය කිරීමේ සිව් අවුරුදු ව්‍යාපෘතිය අද (14) නිල වශයෙන් ආරම්භ කෙරේ.
ග්‍රාමීය ජනතාවගේ දෛනික ගමනාගමන සහ භාණ්ඩ ප්‍රවාහන ගැටලු හඳුනාගෙන, එම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ රුපියල් මිලියන 1,050ක වියදමින් පාලම් 100කට වැඩි සංඛ්‍යාවක ඉදිකිරීම් කටයුතු අද දිනයේදීම රට පුරා ස්ථාන රැසකදී ආරම්භ කරනු ඇත.
මෙහි ප්‍රධාන සමාරම්භක උත්සවයන් දෙකක් පැවැත්වෙන අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදීත්, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේදීත් එම උත්සව පැවැත්වීමට නියමිතයි.
පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සහ ජන ජීවිතය නගා සිටුවීම ඉලක්ක කරගත් මෙම “පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන යටතේ තවත් ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.














