හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම නැවත සාකච්ඡා කරන බවට පොරොන්දු වී බලයට පත් වූ වත්මන් ආණ්ඩුව, මේ වන විට එම ගිවිසුමෙන් ඔබ්බට ගිය අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ජනතාව මත අසාධාරණ බදු බරක් පටවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පන්නලදී පැවැති “පච මඩිතට හොරු අනුර ෆේල්” ජන හමුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දුන්නේ මූල්‍ය අරමුදල ඉල්ලා සිටි මූලික අතිරික්ත ඉලක්කය 2.3%ක් වුවද, වත්මන් ආණ්ඩුව එය 5.4%ක් දක්වා ඉහළ නංවා ඇති බවත්, රාජ්‍ය ආදායම ද 13.9% ඉලක්කයෙන් ඔබ්බට 15.4% දක්වා ඉහළ නංවා ඇත්තේ අධික බදු බරක් ජනතාව මත පැටවීමෙන් බවත්ය. “ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ මූල්‍ය අරමුදලේ ප්‍රියතමයා වෙමින් ‘IMF කුසලානය’ දිනා ගැනීමටයි,” යැයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
විපක්ෂ නායකවරයා ආණ්ඩුවට එල්ල කළ අනෙකුත් චෝදනා අතර අධිකරණ ස්වාධීනත්වය අඩපණ කිරීමට උත්සාහ කිරීම, වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 137ක් වැය වුවද ආණ්ඩුව රුපියල් 120ක සහතික මිලක් පමණක් ලබාදීමෙන් ගොවීන් පාඩු ලබන තත්ත්වයකට පත් කිරීම, ඉතිහාසය විෂය ප්‍රධාන විෂය ධාරාවෙන් ඉවත් කිරීම සහ නව ආයෝජන ගෙන ඒමට අපොහොසත් වීම වැනි කරුණු ප්‍රධාන විය.
















