පොලිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වසර ගණනාවක් තිස්සේ ජනතාව රවටා රුපියල් කෝටි ගණනක මුදල් සහ දේපළ කොල්ලකෑ පුද්ගලයින් තිදෙනෙක් ගම්පොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උඩුනුවර, දවුලගල ප්‍රදේශයේ පදිංචි 40, 44 සහ 45 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් තිදෙනා, විවිධ ප්‍රදේශවල හුදකලාව ගමන් ගන්නා පුද්ගලයින් සහ වාහන නවතා පරීක්ෂා කිරීමේ මුවාවෙන් මෙම වංචනික ක්‍රියාවන් සිදුකර ඇත. 2023 වසරේ සිට පේරාදෙණිය, මහනුවර, කොම්පඤ්ඤ වීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ මාවනැල්ල ඇතුළු ප්‍රදේශ රැසක මොවුන් මෙම මංකොල්ලකෑම් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව පේරාදෙණිය ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහු ලබාදුන් තොරතුරු මත අනෙක් දෙදෙනාද අල්ලා ගැනීමට පොලිසිය සමත් විය. මොවුන් හෙරොයින් සහ මත්පෙති පානයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින පිරිසක් බවත්, කොල්ලකන ලද මුදල් සහ දේපළ සියල්ලම එම මත්ද්‍රව්‍ය සඳහා වැය කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
















