පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙකු ද වන ප්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙකු, කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ සාස්තරකාරියකගේ මායමකට හසුවූ අපූරු පුවතක් වාර්තා වේ. කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සඳහා ප්‍රසිද්ධියක් උසුලන ගමක පදිංචිව සිටිමින් දේවාලයක් පවත්වාගෙන යන කාන්තාවක්, සිය කුඩා දරුවාගේ රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා මහනුවර ප්‍රකට පෞද්ගලික රෝහලකදී මෙම විශේෂඥ වෛද්‍යවරයාව චැනල් කර ඇත. දරුවා පෙන්වීම සඳහා අවස්ථා කිහිපයක් වෛද්‍යවරයාව හමුවීමෙන් පසුව, දරුවාගේ මව වන එම සාස්තරකාර කාන්තාවට වෛද්‍යවරයාව දැලට දමා ගැනීමට හැකිව තිබේ.
ඉන් අනතුරුව අදාළ කාන්තාව සමග කුරුණෑගල ප්‍රදේශයේ දේවාල ගානේ ගොස් විවිධ පූජා පැවැත්වූ මෙම දෙපළ, තවත් විශේෂ පූජාවන් සඳහා බොහෝ දිනවල කුරුණෑගල සහ නුවර ප්‍රදේශයේ විවිධ හෝටල් කරා ද ගොස් ඇත. අදාළ කාන්තාව ඉදිරියේ කුඩා ළදරුවෙකු ලෙස හැසිරී ඇති වෛද්‍යවරයාට, මෙම කපටි කාන්තාව ඒත්තු ගන්වා ඇත්තේ තමන් සහ වෛද්‍යවරයා සංසාරයේ ආත්ම ගණනාවක ස්වාමියා සහ භාර්යාව වශයෙන් එකට බැඳී පැමිණ ඇති බවයි. එහෙත් පෙර කළ පාපයක් නිසාවෙන් මේ ආත්මයේදී ඔවුන් දෙදෙනා වෙන් කිරීම පිණිස වෛද්‍යවරයාගේ නීත්‍යානුකූල බිරිඳ සැතිරියක් ලෙස ඔවුන් අතරට කඩා වැදී ඇති බව ඇය පවසා ඇත. මේ සඳහා විවිධ යන්ත්‍ර, මන්ත්‍ර සහ පූජා රාශියක් පවත්වා ඇති අතර, ඒ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක කාමරයක් ද මාස ගණනාවක් තිස්සේ භාවිතා කර තිබේ.
අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ බිරිඳ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පරිපාලන නිලධාරීන් ද සම්බන්ධ වූ මෙම නාටකය අවසානයේදී නැවතී ඇත්තේ පොලිසියෙනි. උගත්කම, නීතිය හා සදාචාරය මායිම් නොකර මිත්‍යා විශ්වාස පසුපස දිවගිය මෙම කතාව තුළින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අඳුරු පැතිකඩක් ද හෙළිදරව් කෙරේ. මෙම කථාව චිත්‍රපට කතාවක් මෙන් ගලායන්නක් වන අතර, අපි මෙම කථාව හෙළිදරව් කරන්නේ කිසිවෙකු අපහසුතාවයට පත්කිරීමට නොව, මනුෂ්‍ය භාවයන්ගේ දුර්වල පාලනය හේතුවෙන් බිඳී විසිරී යන පවුල් සංස්ථාවන් රැකගැනීම පිණිස පාඩමක් වනු පිණිසය.
















