පසුගිය 2009 වසරේ සිට මෙරට සිදුවූ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, අතිරේක ලේකම්වරයා, සමාගම් රෙජිස්ට්‍රාර්වරයා සහ ලක්විජය බලාගාරයේ ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හයකට කැඳවීම් සිදුකර ඇත.
මෙම ගනුදෙනු මගින් රුපියල් කෝටි 223කට වැඩි දැවැන්ත මූල්‍ය පාඩුවක් රටට සිදුව ඇති බව විගණන වාර්තාවලින් හෙළිවීමත් සමඟ, එම අක්‍රමිකතා පිටුපස සිටින වගකිවයුත්තන් සොයා ගැනීම සඳහා මෙම කොමිසම දැඩි පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පසුගිය 06 වැනිදා ආරම්භ වූ මෙම සාක්ෂි විමසීම් මාලාව තුළ දැනටමත් 60කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සියයකට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන්, අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම කොමිසම මේ වන විට සිය විමර්ශන කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ඉතා ක්‍රියාශීලීව සිදුකරමින් පවතී.
















