පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු මූල්‍යමය ගැටලුවක් නොමැති බවත්, මැතිවරණය පැවැත්වීමේ ප්‍රධාන බාධාව වී ඇත්තේ නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කර නොගැනීම බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, දිට්වා ආපදාව හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවට සහ ඡන්දය සඳහා වෙන් කළ මුදල් ආපදා වියදම් සඳහා යොමු කළ බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා දිට්වා ආපදා කළමනාකරණය සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කර ඇති අතර ඉන් මේ වන විට වැය වී ඇත්තේ බිලියන 260ක් පමණක් බව පෙන්වා දුන්නේය. ඕනෑම මැතිවරණයක් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජය සතු වන අතර, මුදල් හිඟයක් පවතින්නේ නම් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් හෝ ලබා ගැනීමේ හැකියාව පවතී. පළාත් සභා මැතිවරණයට අවශ්‍ය වන්නේ උපරිම වශයෙන් රුපියල් බිලියන 15ක පමණ මුදලක් බැවින්, එය ආපදා වියදම් සමඟ සැසඳීමේදී විශාල මුදලක් නොවන බවත්, නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවේදී සම්මත කළ වහාම ඕනෑම මොහොතක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.













