හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන්ට එල්ල කරන ලද ලිංගික අපයෝජන සහ අපහාස කිරීම් වෙනුවෙන් ගෙවිය යුතු වූ අමෙරිකානු ඩොලර් මිලියන 5.63ක (රුපියල් කෝටි 170කට අධික) මුදල ලේඛිකා ඊ. ජීන් කැරොල් (E. Jean Carroll) විසින් ලබාගෙන ඇති බව අධිකරණ වාර්තා පෙන්වා දෙයි.
2023 වසරේ පැවති නඩු විභාගයකදී ජූරි සභාවක් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු කරමින් ලබාදුන් ඩොලර් මිලියන 5ක වන්දිය, ඊට එකතු වූ පොලී මුදල ද සමඟින් මෙලෙස අධිකරණ ආරක්ෂිත ගිණුමකින් කැරොල්ගේ නීතිඥ සමාගම වෙත මුදාහැර තිබේ. ට්‍රම්ප් විසින් මෙම මුදල් මුදාහැරීම වැළැක්වීමට අවසන් මොහොත දක්වාම අභියාචනා ඉදිරිපත් කරමින් උත්සාහ කළද, අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ අභියාචනා ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ෆෙඩරල් විනිසුරු ලුවිස් කැප්ලාන් විසින් මුදල් නිදහස් කිරීමට නියෝග කර ඇත. ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් කැරොල්ට මුදල් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර, තවත් අපහාස කිරීමේ නඩුවකට අදාළව ඩොලර් මිලියන 83.3ක වෙනත් වන්දියක් දිනාගැනීමට ද ඇය සමත්ව ඇති අතර ට්‍රම්ප් ඊට එරෙහිව ද ඉදිරියේදී අභියාචනා කිරීමට නියමිතය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















