ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහර අද (15) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතා පවසයි. අද රාත්‍රියේ සුබ මොහොතින් ‘වාසනා’ මංගල හස්තියා පිට සර්වඥ ධාතූන් වහන්සේ හෝ දේව ප්‍රතිමාව වැඩම කරවා මහ වීථිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කර, චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු නැවත මහා දේවාලය වෙත ගෙවැදීම සිදුවේ. දින 15ක් පුරා පැවැත්වෙන මෙම ඇසළ උත්සවය, ජූලි 29 වැනිදා පැවැත්වෙන අවසන් මහා පෙරහරින් සහ 30 වැනිදා මැණික් ගඟේ දිය කැපීමේ උත්සවයෙන් නිමාවට පත්වේ.
මෙවර ඇසළ උත්සවයට සමගාමීව, දුටුගැමුණු මහා රජතුමාගේ රාජාඥා පරිදි සෑම වසරකම ඉටු කරන ‘දෙවිඳුන්ගේ වෙලේ’ අස්වැන්න රැගත් ගව තවලම ඊයේ (14) දින දේවාල පරිශ්‍රය වෙත ළඟා විය. බුත්තල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික කුඹුරු යායේ අස්වැන්න, පැරණි සම්ප්‍රදායන් අනුව ගවයන් යොදාගනිමින් ප්‍රවාහනය කිරීම අදටත් නොපිරිහෙළා ඉටු කිරීම විශේෂත්වයකි. මෙම වී සහ සහල් මුරුතැන් පූජාව සඳහා සහ දේවාලයේ රාජකාරි කරුවන්ගේ සේවා දායකත්වය වෙනුවෙන් වෙන් කෙරේ.














