ශ්‍රී ලංකාවේ දැවැන්තම ජල සුරක්ෂිතතා වැඩපිළිවෙළ වන ‘උතුරු මැද ඇළ ව්‍යාපෘතියේ’ (North Central Canal Project) ප්‍රධාන අංගයක් වන දකුණු ආසියාවේ දිගම වාරි උමං මාර්ගය විදීමේ කටයුතු (Tunnel Breakthrough) අද (15) සාර්ථකව නිමාවට පත්විය. කිලෝමීටර් 27.7ක දිගකින් යුත් මෙම උමං මාර්ගය මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන (MWSIP) යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර ඇතිව ඉදිකරන ලද්දකි. මහාමේගස්වැව සහ කොතුරුගම සිට දෙපසකින් ආරම්භ කළ උමං විදීමේ යන්ත්‍ර (TBM) දෙක භූගතව එකිනෙක මුණගැසීම මෙම ඉංජිනේරුමය ජයග්‍රහණයේ සුවිශේෂී අවස්ථාව විය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි සෙන්හොං මහතාගේ ප්‍රධානත්වයෙන් පලුගස්වැව, මහාමේගස්වැවදී මෙම විශේෂ උත්සවය පැවැත්විණි. කිලෝමීටර් 240ක් පුරා විහිදෙන උතුරු මැද ඇළ ව්‍යාපෘතිය මගින් ප්‍රධාන වාරි පද්ධති 12කට සහ වැව් 1,505කට ජලය සැපයීමට නියමිතය. මෙමගින් ගොවි පවුල් 25,000කට ප්රතිලාභ ලැබෙන අතර යල-මහ දෙකන්නයේදී හෙක්ටයාර 74,000ක් වගා කිරීමට හැකියාව ලැබේ. විශේෂයෙන්ම උතුරු මැද පළාතේ බහුලව පවතින නිදන්ගත වකුගඩු රෝගය (CKDu) අවම කිරීම සඳහා ලක්ෂ 15කට අධික ජනතාවකට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.














