චීනයට මේ වසරේ බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව වන ‘බාවි’ හේතුවෙන් එරට ඊසානදිග ලියාඕනිං (Liaoning) පළාතේ ලක්ෂ දෙකකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. පැසිෆික් සාගරයේ හටගෙන දින 13ක් පුරා අඛණ්ඩව සක්‍රීයව පවතින මෙම කුණාටුව, මේ වසරේ ආසියා-පැසිෆික් කලාපයේ වාර්තා වූ දීර්ඝතම නිවර්තන සුළි කුණාටුව ලෙස සැලකේ.
පවතින දැඩි වර්ෂාපතනයත් සමඟ ලියාඕනිං පළාතේ අගනුවර වන ෂෙන්යැන්ග් (Shenyang) ඇතුළු නගර රැසක ප්‍රධාන මාර්ග ගංවතුරින් යටවී ඇති අතර, විදුලි සැපයුමටද බරපතල හානි සිදුව තිබේ. මෙම ආපදා තත්ත්වය හමුවේ ෂෙන්යැන්ග් සහ ජිලින් (Jilin) ප්‍රදේශවල පාසල් සහ උපකාරක පන්ති තාවකාලිකව වසා දැමීමට බලධාරීන් නියෝග කර ඇති අතර, ගමනාගමන සේවා මුළුමනින්ම පාහේ අඩාල වී ඇත. කුණාටුවේ වේගය ඉදිරියේදී අඩු වුවද, තවදුරටත් අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවයි.
















