ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රංශ සංචාරය දූත පිරිසේ සාමාජිකයෙකුට වීසා බලපත්‍රයක් අහිමි වීම හේතුවෙන් කල් දැමූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙම සංචාරය සඳහා වන නව දින වකවානු ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන තොරතුරු සැමවිටම විශ්වාසදායක නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා, මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන පාර්ශ්වයන් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පැවසීය. දෙපාර්ශවයටම ගැලපෙන කාලරාමුවක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟතාවයකට පැමිණීමෙන් පසු සංචාරයේ නිල තොරතුරු දැනුම් දෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පෙන්වා දුන්නේ, GSP Plus බදු සහන සහ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් වැනි රටට වැදගත් තීරණාත්මක සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබූ සංචාරයක් මෙලෙස අවලංගු වීම හෝ කල් දැමීම ගැටලු සහගත බවයි. දූත පිරිසේ සාමාජිකයෙකුගේ වීසා ගැටලුවක් මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් කල් දැමීමට තරම් හේතුවක්ද යන්න පිළිබඳව ඔහු විමසා සිටියේය.
















