ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය 2030 වසර වන විට කිලෝ ග්‍රෑම් මිලියන 400ක් දක්වාත්, අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් “Ceylon Tea Village” හෙවත් තේ ගම්මාන පන්සියය වැඩසටහන අද (ජූලි 15) ආරම්භ කරයි.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ, තේ ගම්මාන 500ක් හරහා කුඩා තේවතු කර්මාන්තය නවීකරණය කරමින් ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම, අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වා දීම සහ තේ කර්මාන්තය සංචාරක ක්ෂේත්රය සමඟ ඒකාබද්ධ කිරීම මෙහි අරමුණ බවයි.
තේ ගම්මාන 500ක් හරහා ක්‍රමානුකූලව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර ලෙස තේ වගා කරන දිස්ත්‍රික්ක 11ක් ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක වැඩකටයුතු අද ආරම්භ කෙරේ. තේ වගාවේ අස්වැන්න අඩු මට්ටමක පැවතීම නිවැරදි කිරීම සඳහා ‘අධි ඝනත්ව වගා ක්‍රමය’ (High Density Planting) අත්හදා බලමින් පවතින අතර, ඒ හරහා දැනට මාසයකට ලැබෙන තේ දලු කිලෝ 250 – 350 ප්‍රමාණය කිලෝ 1000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම කුඩා තේවතු හිමියන් සඳහා රක්ෂණ ක්‍රමයක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට ද අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. ලෝකයේ රසවත්ම තේ නිෂ්පාදනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාව සතු නාමය භාවිතා කරමින්, තේ කර්මාන්තය ආශ්රිත සංචාරක අත්දැකීම් ප්‍රවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබේ.
පවතින ආර්ථික අර්බුද හමුවේ කුඩා තේ වතු ගොවීන් 191,000කට වැඩි පිරිසකට පොහොර ලබා දී ඇති බවත්, ලංකා ඉතිහාසයේ වැඩිම පොහොර සහනාධාරය ලබා දුන් කාලය මෙය බවත් ඇමැතිවරයා පවසයි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප කිසිදු ඉල්ලීමකින් තොරව ඉහළ දැමීම සහ රජයේ සේවක වැටුප් වැඩි කිරීම ඇතුළු සහන රැසක් රජය විසින් ලබා දී ඇත.
විපක්ෂයේ විවේචන සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, වංචා දූෂණ සහ පාතාලය මර්දනය කරමින් නීතිය ක්‍රියාත්මක වන විට විපක්ෂය කලබලයට පත්ව සිටින බවයි. බිඳ වැටුණු ආර්ථිකයක් භාර ගත්තද, අද වන විට වාහන ආනයනය ආරම්භ කර, ණය ගෙවා, සංවර්ධන කටයුතු සිදු කරමින් රට නිවැරදි මාවතට ගෙන ඒමට රජය සමත් වී ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















