දශක හයකට පෙර ආරම්භ වූ මහවැලි මහ සැලැස්මේ අවසන් සිහිනය යථාර්ථයක් කරමින්, උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ සුවිශේෂී අංගයක් වන දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කිරීම අද (15) සිදු කෙරේ. කිලෝමීටර් 27.7ක දිගකින් යුත් මෙම දැවැන්ත උමග, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන (MWSIP) යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වේ.
නවීනතම TBM (Tunnel Boring Machine) යන්ත්‍ර දෙකක් භාවිතයෙන් දෙපසින් ආරම්භ කළ මෙම කැණීම් කටයුතු, පොළොව අභ්‍යන්තරයේදී එකිනෙක මුණගැසීම ඉංජිනේරු ක්ෂේත්රයේ ‘Breakthrough’ අවස්ථාවක් ලෙස සැලකේ.
කිලෝමීටර් 240ක් පමණ දිගු උතුරු මැද මහ ඇළ හරහා මහා වාරි පද්ධති 12ක් සහ වැව් 1505ක් පෝෂණය කිරීමට නියමිතය. පවුල් 25,000කට සෘජු ප්රතිලාභ හිමිවන අතර, හෙක්ටයාර 74,000ක වගාබිම් යල-මහ දෙකන්නයේම අස්වැද්දීමට අවස්ථාව සැලසේ. රජරට ජනතාව පීඩා විඳින වකුගඩු රෝගය (CKDu) අවම කිරීම සඳහා මිලිලීටර් 1.5ක ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට වාර්ෂිකව ජලය ඝන මීටර මිලියන 70ක් මුදාහැරීමට සැලසුම් කර ඇත. වනජීවී කලාප හරහා ‘Cut & Cover’ ක්‍රමය භාවිත කිරීම සහ අලි-මිනිස් ගැටුමට විසඳුම් ලෙස අලි කොරිඩෝ ස්ථාපනය කිරීම වැනි පරිසර හිතකාමී ක්‍රමවේද මෙම ව්‍යාපෘතිය යටතේ අනුගමනය කර ඇත.
අද පෙරවරු 9.30ට පලුගස්වැව, මහමීගස්වැව ප්‍රදේශයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ. මෙම ව්‍යාපෘතිය උතුරු සහ උතුරු මැද පළාත්වල ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සහ පශු සම්පත් ක්ෂේත්රය නංවන සමස්ත ජාතියේම ආයෝජනයක් ලෙස සැලකේ.
















