බදු ගෙවීම යනු රටේ අනාගතය වෙනුවෙන් ඉටුකරන වගකීමක් ලෙස සලකා, පුරවැසියන් ස්වේච්ඡාවෙන්ම ඊට දායක වන යහපත් මානසිකත්වයක් රට තුළ ගොඩනැඟීම රජයේ ප්‍රධාන අරමුණ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකීය සමාජයේ බදු ගෙවීම සම්බන්ධයෙන් පවතින ඍණාත්මක ආකල්ප වෙනස් කර, ස්වේච්ඡාවෙන් බදු ගෙවීමේ සංස්කෘතියක් (Voluntary Tax Compliance) ස්ථාපිත කිරීමේ අරමුණින් ‘බදු ශක්ති 2026’ නමින් බදු සතියක් ක්‍රියාත්මක කළ බව නියෝජ්‍ය ඇමැතිවරයා පවසයි.
කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති බදු ගෙවන්නන් සහ බදු වෘත්තිකයන් දැනුවත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී ශ්‍රී ලංකාවේ බදු අය කිරීමේ වත්මන් තත්ත්වය, ඉදිරියේදී සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ සහ රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් බදු දැල පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
රජය මගින් හඳුන්වා දී ඇති ක්‍රමවත් පියවරවල ප්‍රධාන අභිප්‍රාය හුදෙක් බදු මුදල් එකතු කිරීම පමණක් නොව, පුරවැසියන් තුළ රටේ අනාගතය පිළිබඳ වගකීමක් සහිත බදු ගෙවීමේ සංස්කෘතියක් ඇති කිරීම බව නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය. මෙම අවස්ථාවට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් රැසක් සහභාගි වූහ.
















