මධ්‍යම පෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය තවදුරටත් උග්රවෙමින් පවතින අතර, දකුණු ඉරානය ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය විසින් අමතර ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය නැවත වරක් නාවික අවහිර කිරීම් ආරම්භ කර ඇත. මැදපෙරදිග කලාපය පුරා අමෙරිකානු නාවික යුද නෞකා 20කට අධික සංඛ්‍යාවක් සහ සිය ගණනක් යුද ගුවන් යානා මෙහෙයුම්වල නිරතව සිටින බව CENTCOM තහවුරු කරයි.
තමන් විසින් කුවේටය, බහරේනය සහ ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඉරානය නිවේදනය කර ඇත. මීට අමතරව, හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී තෙල් ප්‍රවාහන සුපිරි නැව් දෙකකට ද ඉරානය විසින් පහර දී තිබේ.
ප්‍රහාරයකින් තම ජාතික නෞකා දෙකකට හානි සිදුවූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසන අතර, ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉන්දීය ජාතික නාවිකයෙකු ජීවිතක්ෂයට පත්වීම සහ තවත් පිරිසක් තුවාල ලැබීම හේතුවෙන් ඉන්දියාව විසින් ඉරාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කැඳවා සිය විරෝධය පළ කර ඇත.
මේ අතර, මීට පෙර ප්‍රකාශයට පත් කළ සියයට 20ක තීරුබදු ඉහළ දැමීමේ තීරණය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ස්ථාවරය වෙනස් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
















