දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බැවින්, ගම්පහ, කොළඹ, මාතර, කළුතර, මහනුවර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක 7 සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 175ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව, වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු ආසාදිතයන් 68,672ක් වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගල මරණ 47ක් සිදුව තිබේ. ජූලි මාසයේ ගතවූ දින 12ක කෙටි කාලසීමාව තුළ පමණක් රෝගීන් 13,293 දෙනෙකු අලුතින් වාර්තා වීම මෙම රෝග ව්‍යාප්තියේ පවතින බරපතල තත්ත්වය කියාපායි.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඉදිරි දිනවලදී රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බැවින්, තමන් ජීවත්වන පරිශ්‍රයන්හි මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් සෞඛ්‍ය අංශ වෙත උපරිම සහයෝගය දක්වන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.
















