පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් පසුගියදා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අතිඋතුම් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක, ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ වත්මන් හමුදාපතිතුමා ජූලි මස 02 වැනිදා පලතුරු වට්ටියක් රැගෙන කාදිනල් හිමිපාණන් බැහැදැකීමට ගිය බවත්, එදිනම ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන ලද බවත්ය. කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බව සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කරයි.
අතිඋතුම් කාදිනල් හිමිපාණන් රෝමයේ වතිකානය බලා ගොස් යළි දිවයිනට පැමිණ ඇත්තේ ජූලි මස 03 වැනිදා බැවින්, මන්ත්‍රීවරයා පවසන පරිදි ජූලි 02 වැනිදා එවැනි හමුවීමක් කිසිසේත්ම සිදුවිය නොහැකි බව පියතුමා පැහැදිලි කරයි.
මෙම අසත්‍ය ප්‍රකාශය තුළ ආගම්වාදය පදනම් කරගෙන රටේ ආගමික සංහිඳියාව විනාශ කරමින් පටු දේශපාලන වාසි ලබා ගැනීමේ නින්දිත අරමුණක් පවතින බව පියතුමා වැඩිදුරටත් සඳහන් කරයි. මෙම වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අතිඋතුම් කාදිනල් හිමිපාණන්ගේ නීතිඥයින් මේ වන විටත් කටයුතු කරමින් සිටී.














