අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධියට අදාළව, රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියේ පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති තාක්ෂණික කමිටුව වෙත ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (15) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණයට මෝසමක් ගොනු කරමින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි. මහා පරිමාණ මුදල් වංචාව පිළිබඳව සිදු කෙරෙන පුළුල් විමර්ශන කටයුතු සඳහා මෙම දත්ත පිටපත් ලබා දීම අත්‍යවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.
මීට පෙර පැවති නඩු දිනයේදී, විමර්ශනවලදී සොයාගත් ටෙරාබයිට් 16ක පරිගණක දත්ත අඩංගු දෘඪ තැටි වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණි. ඒ අනුව, විමර්ශන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියට අදාළ දත්ත පිටපත් ලබා දෙන ලෙස ටෙලිකොම් ආයතනයට නියෝග කර ඇත.














