දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 759 වැනි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය පෙරේදා (14) පස්වරු 5.12ට යෙදුණු සුබ මොහොතින් අති උත්කර්ෂවත් ලෙස සිදුකෙරිණි.
දෙවිනුවර පරම විචිත්‍රාරාම රාජමහා විහාරාධිපති, අමරපුර ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ මහා නායක ආචාර්ය දෙවිනුවර සිරි සුනන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සහ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංක මහතාගේ උපදෙස් මත මෙම ආගමික කටයුතු සංවිධානය කර තිබුණි. උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ප්‍රධාන කපු තිස්ස මහානාම මහතා ඇතුළු කපු මහත්වරුන්ගේ මූලිකත්වයෙන් හා මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ දේවාල පරිශ්‍රයේ කප සිටුවීම සිදුකෙරුණි.
මෙම අවස්ථාවට එක්ව සිටි බැතිමතුන් තම සිතුම් පැතුම් ඉටුකර ගැනීම වෙනුවෙන් කපෙහි පඬුරු ගැටගැසීමට සහ දේවාලය ඉදිරිපිට පොල් ගැසීමේ චාරිත්‍රයේ නිරත වීමට විශාල උනන්දුවක් දැක්වූහ. බැතිමතුන්ගේ පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි ජනකායක් දක්නට ලැබුණු අතර, ඔවුන් පාලනය කිරීම සඳහා පොලිසියට සහ සංවිධායක මණ්ඩලයට විශේෂ පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
















