රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි අඹුසැමි යුවළක් මාදම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුර කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1ක් සහ ග්‍රෑම් 6ක් ද, කාන්තාව සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 149ක් සහ මිලිග්‍රෑම් 150ක් ද තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන්නියකි. ඇය පවසා ඇත්තේ තමා පෞද්ගලික ආයතනයක නීති උපාධිය හදාරන බවත්, අධ්‍යාපන වියදම් පියවා ගැනීමට මෙම ජාවාරමට සම්බන්ධ වූ බවත්ය. මොවුන් මෝදර ප්‍රදේශයේ ක්‍රියාත්මක මයුර නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් බවත්, කලක පටන් මෙම ජාවාරම සිදුකර ඇති බවත් විමර්ශනවලදී තහවුරු වී තිබේ. සැකකාර කාන්තාව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පිරිමි සැකකරු දින තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබාගෙන ඇති අතර, පසුව ඔහුව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















