පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක පරීක්‍ෂකවරයෙකු වන ලලිත් වීරසිංහ නැමැත්තාගෙන් තමන්ට සිදුවූ ලිංගික අතවරයන් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බලධාරීන්ට සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට පැමිණිලි කළද, මේ වන තෙක් සාධාරණයක් ඉටුවී නැතැයි පවසමින් ආරක්‍ෂක නිලධාරිනියක ලෙස සේවය කළ ස්වර්ණා රම්‍යලතා නැමැති කාන්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් ගොනු කර තිබෙන බව වාර්තා වේ.
ආරක්‍ෂක අංශයට අනුයුක්තව රාජකාරී කරන විට ලලිත් වීරසිංහ නැමැත්තා ඔහුගේ නිල බලය යොදාගනිමින් තමන්ට ලිංගික බලහත්කාරකම් කිරීමට උත්සාහ කළ බවත්, ඊට තමන් විරුද්ධවීම හේතුවෙන් අදාළ පුද්ගලයා ඔහුගේ මිතුරන් වන සුභසිංහ සහ කුමාරසිංහ සමඟ එක්ව තමන්ව රැකියාවෙන් නෙරපා දැමූ බවත් ඇය සිය පැමිණිල්ල මගින් සඳහන් කරයි.
සුභසිංහ සහ කුමාරසිංහ යන අය ලලිත් වීරසිංහගේ ඉල්ලීම්වලට එකඟ වන ලෙස තමන්ට බලපෑම් කළ බවත්, දෙදරු මවක වන තමන් එම බලපෑම්වලට එකඟ නොවීම හේතුවෙන් ජීවිකාව වූ රැකියාව අහිමි වූ බවත් ඇය පවසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බලධාරීන් මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොකර ලලිත් වීරසිංහ නැමැත්තාට අනුබල දෙමින් කටයුතු කරන බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවී පැමිණිලි කළද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බැවින් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කිරීමට තීරණය කළ බවත් ඇය ප්‍රකාශ කරයි. සියලු මාධ්‍ය ආයතන වෙත පිටපත් යොමු කරමින් ගොනු කර ඇති මෙම පැමිණිල්ල මගින් රාජකාරී වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් පේරාදෙණිය උපකුලපති ටෙරන්ස් මධුජිත් ඇතුළු බලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටී.













