කතරගම වන්දනා පාද යාත්‍රාවට සහභාගී වී සිටි බැතිමතුන් තිදෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස උතුරේ හින්දු සංගමය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. අනාදිමත් කාලයක සිට පවතින මෙම පුරාණ චාරිත්‍රයේදී මීට පෙර බැතිමතුන් මියගොස් ඇත්තේ වන අලියෙකුගේ ප්‍රහාරයකින් හෝ සර්පයෙකු දෂ්ට කිරීම වැනි සුවිශේෂී අවස්ථාවකදී පමණක් බව එම සංගමය පෙන්වා දෙයි.කෙසේ වෙතත්, මේ වන විට මියගොස් ඇති බැතිමතුන් තිදෙනාම හෘදයාබාධ වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් මියගොස් තිබීම ගැටලු සහගත බව ඔවුන් පවසයි. මියගිය අය අතර වවුනියාවේ ගුරුවරයෙකු, කරයිතිහි නඩරාජා අරුල්කුමාර් සහ එරාවුර් කළුවන්කේනිහි නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු වන 52 හැවිරිදි කේ. පාකියරාජා යන අය වේ. මෙම මරණ හෘදයාබාධ හේතුවෙන් සිදුවී ඇති බව වෛද්‍ය වාර්තා මගින් සනාථ වී තිබේ.පවතින දැඩි නියඟය සහ අධික අව් රශ්මිය මෙම මරණවලට හේතුවක් වී ඇත්දැයි සොයා බැලීම වැදගත් බවත්, එවැනි තත්ත්වයක් පවතී නම් බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්, නැතහොත් පාද යාත්‍රාව සඳහා වෙනත් පහසු ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසත් එම සංගමය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.













