දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිසර පද්ධති සහ සහභාගීත්ව ධීවර ආර්ථිකයන් ගොඩනැගීම අරමුණු කරගත් ‘Resilient Waves program’ ජාතික පරිසර වැඩසටහන එළිදැක්වීම ඊයේ (15) කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrick) මහතාගේ සත්කාරකත්වයෙන් පැවැති මෙම සුවිශේෂී අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සක්‍රීයව සහභාගි විය.
මෙම ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වඩාත්ම දිළිඳු වෙරළබඩ කලාප ලෙස හඳුනාගෙන ඇති මඩකලපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ධීවර ප්‍රජාවන් සවිබල ගැන්වීමයි. එම ප්‍රජාවන් මුහුණ දෙන දරිද්‍රතාවය, දේශගුණික විපර්යාස (Climate Change) සහ සමාජීය වශයෙන් කොන්වීම (Social Exclusion) වැනි අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින බහුවිධ අභියෝග ජය ගැනීමට මෙමඟින් සහාය වේ. ප්‍රජාව විසින්ම මෙහෙයවනු ලබන, ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් (Nature-based Solutions) සහ ජීවනෝපාය විවිධාංගීකරණය තුළින් දේශගුණයට ඔරොත්තු දෙන පරිසර පද්ධති ගොඩනැගීම ද මේ යටතේ සිදු කෙරේ.
මාස 39ක් පුරා ක්‍රියාත්මක වන මෙම පුළුල් ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබාදෙනු ලබන්නේ එක්සත් රාජධානියේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ (Defra) “OCEAN” වැඩසටහන මඟිනි. ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ACTED, Humanity and Inclusion (HI), Biodiversity Sri Lanka (BSL), Green Movement Sri Lanka (GMSL) සහ Blue Resources Trust (BRT) යන දේශීය හා ජාත්‍යන්තර සංවිධාන ඒකාබද්ධව කටයුතු කරයි. වාසස්ථාන තක්සේරු කිරීම්, ප්‍රජා ධාරිතාවන් ශක්තිමත් කිරීම සහ දේශගුණයට ගැළපෙන බුද්ධිමත් ධීවර ක්‍රමවේදයන් (Climate-smart Fishing) හරහා සාගර පරිසර පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට මෙහිදී පියවර ගැනේ.














