පිව් පර්යේෂණ මධ්‍යස්ථානය (Pew Research Center) විසින් රටවල් 36ක පුද්ගලයින් 42,000කට අධික පිරිසක් යොදාගෙන සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව, මෙරට ජනතාවගෙන් බහුතරයක් අමෙරිකාවට වඩා චීනයට පක්ෂපාතිත්වයක් දක්වන බව අනාවරණය වී ඇත. අමෙරිකාව පාදක කරගත් මෙම මධ්‍යස්ථානය විසින් ඉකුත් පෙබරවාරි සහ මැයි අතර කාලය තුළ සිදුකළ මෙම සමීක්ෂණයට අනුව, ලොව පුරා රටවල් බහුතරයක් අමෙරිකාවට වඩා චීනයට වැඩි කැමැත්තක් දක්වන බව තහවුරු වී තිබේ. සමීක්ෂණයේ නියැඳියක් වූ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 72%ක් චීනයට පක්ෂපාතී බව ප්‍රකාශ කර ඇත. මෙම සමීක්ෂණයට තෝරාගත් රටවල් 36 අතරින් චීනයට ඉහළම පක්ෂපාතිත්වය දක්වන රට වන්නේ පාකිස්තානය වන අතර, එහි චීනයට ඇති කැමැත්ත 90%ක මට්ටමක පවතී. මීට අමතරව, අමෙරිකානු හිතැති බලකඳවුරක් ලෙස සැලකෙන ඊශ්‍රායලයේ ද 81%ක ජනතාවක් චීනයට කැමැත්තක් දක්වන බව මෙම සමීක්ෂණයෙන් හෙළි වී ඇත. පිව් පර්යේෂණ මධ්‍යස්ථානය මෙවැනි සමීක්ෂණයක් සිදුකළ පළමු අවස්ථාව මෙය වන අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා චීන ජනාධිපති ෂී ජින්පින් ලෝක ජනතාවගේ වැඩි ආදරයට පාත්‍ර වී ඇති බව ද එම සමීක්ෂණ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.













