රජයේ සහතික මිල යටතේ වී මිලදී ගැනීමේ කටයුතු දිවයින පුරා සාර්ථකව ආරම්භ වී ඇති අතර, මේ වන විට අම්පාර, වීරවිල සහ මුලතිව් ඇතුළු ප්‍රදේශවලින් වී මෙට්‍රික් ටොන් 203කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.
මෙවර කන්නයේදී සමස්තයක් ලෙස වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීම රජයේ ඉලක්කයයි. ඒ සඳහා දිස්ත්‍රික්ක 17ක් ආවරණය වන පරිදි වී ගබඩා 147ක් සූදානම් කර තිබේ. දැනට වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති මධ්‍යස්ථාන 45ක වී මිලදී ගැනීමේ කටයුතු ක්‍රියාත්මක අතර, අස්වනු නෙළීමත් සමඟ සෙසු ගබඩාවන්ද ක්‍රියාත්මක කෙරෙනු ඇත. පසුගිය 13 වන දින මෙම වැඩසටහන ආරම්භ කළ අතර අම්පාර, ත්‍රිකුණාමලය, කිළිනොච්චිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් මේ වන විට විශාල ප්‍රමාණයක වී අස්වනු මිලදී ගෙන තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සඳහා ගබඩා 20ක් විවෘත කර ඇති අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය සහ කුලියාපිටිය ඇතුළු ප්‍රදේශවල අස්වනු නෙළීම ආරම්භ වීමත් සමඟ එහිද වී මෙට්‍රික් ටොන් 1,000ක් මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. ප්‍රමිතියෙන් යුත් වී අස්වනු කඩිනමින් රජයේ ගබඩාවලට ලබා දෙන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටී.
















