කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉදිරි වසර 30ට ගැළපෙන පරිදි ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්ම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත කරුණු ඉදිරිපත් කෙරිණි. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 ප්‍රගතිය සහ 2027 අයවැය සම්බන්ධයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
කටුනායක ගුවන්තොටුපොළේ 2055 වසර වන විට වාර්ෂික මගී ධාරිතාව මිලියන 24.2ක් දක්වා ඉහළ නැංවීම ඉලක්කයයි. 2027 වසර වන විට පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්තයක් ඉදිකිරීම සහ ඩිපෝ ප්‍රසාරණය ඇතුළු දෙවන අදියරේ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම සියලු ගුවන්තොටුපොළ සේවා ඩිජිටල්කරණයට පියවර ගෙන ඇත. මත්තල ගුවන්තොටුපොළ මගින් වසරකට රුපියල් බිලියන 4ක පමණ අලාභයක් සිදුවන බව අනාවරණය වූ අතර, මෙම තත්ත්වය මඟහරවා ගැනීමට ආයෝජන යෝජනා කැඳවා ඇති අතර 2027 වන විට ඊට අදාළ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වරාය සංවර්ධන ව්‍යාපෘති, කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය, කොළඹ වරායේ Logistic Park සහ දකුණු වරායේ දියකඩනය දීර්ඝ කිරීම වැනි ව්‍යාපෘතිවල ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි. හිඟුරක්ගොඩ ඇතුළු අභ්‍යන්තර ගුවන්තොටුපොළවල සිවිල් මගී මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර යාපනය ගුවන්තොටුපොළේ මගී පර්යන්ත නවීකරණය දැනටමත් ආරම්භ වී ඇත.
ජනතා බදු මුදල්වලට බරක් නොවී, ආයතන සතු මූල්‍ය ශක්තිය උපයෝගී කරගනිමින් රාජ්‍ය භාණ්ඩාගාරයට උපරිම දායකත්වයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාළ ආයතනවලට උපදෙස් ලබා දුන්නේය. මෙම සාකච්ඡාව සඳහා වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති ඇමැති අනුර කරුණාතිලක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වූහ.
















