දකුණු ආසියානු කලාපයේ වෙළෙඳ සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්, පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් සහ සාක් (SAARC) කලාපීය වාණිජ මණ්ඩල අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් ලබන සැප්තැම්බර් මාසයේදී අත්සන් කිරීමට නියමිත බව සාක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති චන්දි රාජ් දකාල් මහතා පවසයි.
දැනට සාක් කලාපය තුළ පවතින අන්තර් වෙළෙඳාම 5%ක ඉතා අඩු මට්ටමක පැවතීම මෙම ගිවිසුම මගින් මඟහරවා ගැනීමට අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් සාක් සහ පොදු රාජ්‍ය මණ්ඩලය යන සංවිධාන දෙකෙහිම සාමාජිකත්වය දරන බැවින්, මෙම සහයෝගීතාව කලාපීය ආර්ථිකයට විශාල ශක්තියක් වනු ඇත.
මෙම ගිවිසුම හරහා කලාපීය වෙළෙඳ සීමාව ඉහළ නංවා නව වෙළෙඳපොළවල් සොයා ගැනීම, කලාපීය ආයෝජන දිරිමත් කිරීම, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම, වෙළෙඳ බාධක ඉවත් කරමින් ව්‍යාපාරිකයන් අතර සෘජු සබඳතා ශක්තිමත් කිරීම සහ සාක් රටවල ඇති අමුද්‍රව්‍ය හා මානව සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. සාක් සංවිධානය දේශපාලනික වශයෙන් මන්දගාමී තත්ත්වයක පවතින පසුබිමක, වාණිජ මණ්ඩල මට්ටමින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ කලාපීය ආර්ථිකය නව මානයකට ගෙන යාමට ඉවහල් වනු ඇති බව විශ්වාස කෙරේ.
















