ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීමේ නව විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙස ‘OVI උගුල’ (OVI Trap) භාවිතයට ගැනීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් පියවර ගෙන තිබේ. මෙම ක්‍රමවේදය යටතේ මදුරුවන්ට බිත්තර දැමීම සඳහා සුදුසු කෘත්‍රිම පරිසරයක් සකස් කිරීම හරහා බෝවීම පාලනය කෙරේ. මෙම වැඩසටහනේ මූලික අදියර බියගම ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිත අතර, එහි සාර්ථකත්වය මත අනෙකුත් ප්‍රදේශවලටත් මෙය ව්‍යාප්ත කිරීමට නියමිතය.
මේ අතර, දිස්ත්‍රික්ක 11ක් මුල්කර ගනිමින් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් මෙම මස පුරා ක්‍රියාත්මක වේ. කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, යාපනය, මහනුවර, මඩකලපුව, කෑගල්ල, ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 63ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මදුරු මර්දන වැඩසටහන්වලදී හඳුනාගත් පරිදි 40%ක් මදුරුවන් බෝවන ස්ථාන පාසල් පරිශ්‍රවලින් වාර්තා වී ඇති බැවින්, දරුවන් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කර ගැනීමට ඔවුන්ගේ අත්පා ආවරණය වන පරිදි දිග ඇඳුම් පැළඳුම් භාවිත කිරීමේ වැදගත්කම වෛද්‍යවරු අවධාරණය කරති.
මෙම වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු ආසාදිතයන් 72,430ක් සහ මරණ 49ක් වාර්තා වී ඇත. මේ මස ගතවූ දින 15 තුළ පමණක් ආසාදිතයන් 17,051ක් වාර්තා වී ඇති අතර, මේ වන විට රට තුළ ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 175ක් හඳුනාගෙන තිබේ.
















